Thursday, April 11, 2013

ලංකා...ලංකා...,



එක්තරා කාලෙක සමාජ සේවයට කැප වුණු එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක්, ආරම්භ කළා අපූරු ව්‍යාපෘතියක්. දරුවන් සමග වැන්දඹු වෙලා ඉන්න, ඒ කියන්නෙ සැමියාගෙන් වියෝ වූ කාන්තාවන්ට සහන සැලසීම තමයි ව්‍යාපෘතියේ අරමුණ. පළමු අදියර වශයෙන් සහන ලැබීමට සුදුසු වැන්දඹු කාන්තාවන් ලියාපදිංචි කිරීම ජයට කෙරීගෙන යනවා.

අනේ ඉතිං දරුවො පහළොස්දෙනෙක් එක්ක අසරණ වෙලා ඉන්න කාන්තාවක් ආවා මේ ව්‍යාපෘතියෙ ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි කරන්න හිටිය නිලධාරියා නළල රැලි කරගෙන ඇහුවා මේ දරුවො පහළොස්දෙනාම ඔයාගෙද කියලා. ගෑනිට ටිකක් කේන්ති ගියා. මොකද එයා යන යන හැම තැනකදිම කව්රු හරි එයාගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඉතිං එයා ටිකක් සැරෙන් කිව්වා “මගේ තමයි මහත්තයො… ඇයි මොකද”

නිලධාරියා – නෑ.. නෑ… මං නිකං ඇහුවෙ. මම ඉතිං ඔය ළමයි හැමෝගෙම නම් මේකෙ ලියන්න එපැයි.

අන්න එතකොට කාන්තාව ටිකක් හිනා වෙලා එහෙම කියනවා…

කාන්තාව – නෑ.. නෑ.. ඒක හරි සරලයි. මේගොල්ලන්ගෙන් පිරිමි ළමයින්ගෙ නම ලංකා. ගෑනු ළමයින්ගෙ නම ලන්කා.

නිලධාරියාගෙ ඔළුව හොඳටම පැටළුනා.

නිලධාරියා – ඒ කියන්නෙ? දැන් එතකොට මේ ළමයි පහළො‍ස්දෙනාටම තියෙන්නෙ එකම නමද? ලංකා?

කාන්තාව – ඔව්… හරිම ලේසියි.

දැන් නිලධාරියට ටික ටික මල පැනගෙන එනවා. ළමයි පහළොස්දෙනාටම එකම නම තිබුණම ලේසි වෙන්නෙ කොහොමද?

නිලධාරියා – ඒ කොහොමද ලේසි වෙන්නෙ? එකම නම තිබුණම ඔයාට ළමයින්ව පැටලෙන්නෙ නැද්ද? අනික සමහර විට ළමයින්ට ඒගොල්ලන්වම පැටලෙනවා ඇති.

කාන්තාව – එහෙම නෙවෙයි මහත්තයො. ඇත්තටම කියනවනං මගේ ජීවිතේ මං ගත්තු බුද්ධිමත්ම තීරණය තමයි මේ කට්ටියටම එකම නමක් දාපු එක. දැන් හිතන්නකො මම රෑට කෑම ලෑස්ති කළා කියලා. මට තියෙන්නෙ ‘ලංකා… කෑම ලෑස්තියි’ කියන්න විතරයි. පාලොස්දෙනාම එනවා. අපි හිතමු ළමයි පාර පනින්න හදනකොටම වේගෙන් ලොරියක් එනවා කියලා. මට තියෙන්නෙ ‘ලංකා… පනින්න එපා’ කියන්න විතරයි. කට්ටියම නතර වෙනවා. අනික ඒ වගේ හදිස්සි වෙලාවක නම් පහළවක් කිය කිය ඉන්න වෙලාවක් නෑනෙ.

නිලධාරියා අඤ්ඤකොරොස්. ඇයි යකෝ එකම නම පහළොස් පාරක් ලියලා මේ සහනාධාර ෆෝම් එක පුරවන්න පුළුවනැයි.

නිලධාරියා – ඇයි මෝඩ ගෑනියෙ… එක ළමයෙකුට විතරක් කතා කරන්න ඕන වුනාම මොනවා කියලද කතා කරන්නෙ?

කාන්තාව කිසිම ගාණක් නැතුව ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නා.

කාන්තාව – එක්කෙනෙකුට විතරක් කතා කරන්න ඕන වුනාම… එයාගෙ වාසගම කියලා කතා කරනවා.

No comments:

Post a Comment