තේගිරිස් ගමේම සිටි බයාදුම මිනිසා යැයි කීවොත් නිවැරදිය. හේ ඉතා පාඩුවේ තම පවුලේ අගහිඟකම් සපුරමින් ජීවිතය ගෙන ගියේය.
පරණ අවරුදු දා පංසලේ ඝාන්ටාරය නාද කර ගැමියන් කැඳවා, ඔවුන්ට අවුරුදු නැකැත් පිළිබඳව දැනුම් දීම හාමුදුරුවන්ගේ සිරිතය.
සිරිත් පරිදි ඇසුණු ඝාන්ඨා නාදයෙන් කලබල වුන තේගිරිස්ගේ බිරිඳ "තමුසේ විගහින් ගිහින් නැකැත් අහගෙන එනවා" යි පැවසීය.
තේගිරිස් - "අනේ තමුසේ යනවකෝ... මම ඕවට වැඩිය කැමති නෑනේ.."
බිරිඳ - "ඔය බලනවකෝ.... මට කොයිතරම් වැඩද ? මේ කැවුම් ටික බැදගන්නත් තියෙනවා. ගිහින් එනවකෝ"
බිරිඳගේ බලකිරීම නිසාම කමිසයක් ඇඟට දාගත් හෙතම හීං සීරුවේ පංසල වෙත ඇදී... දාන ශාලාවේ බිත්තියට හේත්තුවී හාමුදුරන්ගේ කථාවට ඇහුම්කන්දීගෙන සිට ගෙදර ආවේය.
අළුත් අවුරුද්ද උදාවිය. ලිප මෙලවීමේ නැකතට දසත රතිඥ්ඥා සද්දෙට දෙකන් බීරිවන තරම්ය. තේගිරිස් දරුවන් දෙදෙනා වත්ත පල්ලෙහාට පිටත් කර යැවුවේ ඔංචිලි පදින ලෙස අණකරමිනි. ලිප මොලවන නැකතට රතිඥ්ඥා පත්තුවන්නට විය.
තේගිරිස් - "ගලවනවා ඉතිං ඔය චීත්තේ..."
බිරිඳ - "මොන යකෙක් ගහලද තමුසෙට මේ නැකැත් වෙලාවේ"
තේගිරිස් - "හාමුදුරුවෝ කිව්වේ එහෙම තමයි යෝදියේ.... මේ සැරේ ලිප මොලවන්න තියෙන්නේ නිර්වස්තරෙන්"
බිරිඳ - "ම්... ඈ...."
තේගිරිස් - "ඔව් යෝදියේ රෙද්ද ගලවල ඕක මොලවපං"
සියල්ල සිරිත් පරිදි සිදුවිය. දින කීපයකට පසු නාන්නට ගිය තේගිරිස්ගේ බිරිඳ ගමේ ගෑනුත් එක්ක
"මේ සැරේ නැකත තමයි නැකත, යි පැවසීය"
මෙය අසා සිටි අනෙක් ගෑනු ඇයි මොකද ? වෙනද වගේමනේ. ඇයි උඹ මොකද කලේ.
"නෑ මම කිව්වේ මට නම් ලැජ්ජාවේ පනගියා"
පසුව සිදුවූ දේ ඇය විස්තර කලාය. අසාසිටි සියළු දෙනාම බඩවල් අල්ලා ගෙන සිනාසෙන්නට විය.
සිදුවී තිබුනේ මෙසේය .....
හාමුදුරුවන් කියා තිබුණේ නිල්වස්ත්‍රයෙන් සැරසී ලිප මොලවන ලෙසය. තේගිරිස් එය අසාගෙන ඇත්තේ නිර්වස්ත්‍රයෙන් සැරසී ලිප මොලවන ලෙසටය.
No comments:
Post a Comment